විදුලි කම්බි කන්තෝරුව බලන්න දුර්ලභ අවස්ථාවක්

GPOfe

කොළඹ කොටුවේ රජ ගෙදර හෙවත් ජනාධිපති මන්දිරය අභිමුඛව ඇති තැපැල් මූලස්ථාන ගොඩනැගිල්ල (general post office – G.P.O.) නගරයේ අභිමානය විදහා ලූ ඓතිහාසික වටිනාකමින් ද කලාත්මක අතින් ද බ්‍රිතාන්‍ය ගෘහ නිර්මාණ ශිල්පයේ විශිෂ්ටත්වය පෙන්නුම් කරයි. එවකට කොළඹ නගරයේ සංඛේතය බදු වූ මෙම නිර්මාණය බ්‍රිතාන්‍ය නිපුණයෙකු වූ එච්.එෆ්.තොම්ලින් සහ ඔහුගේ සහයක ටී.ස්මිත් යන දෙපලගේ මූලිකත්වයෙන් ශ්‍රී ලාංකීය ශ්‍රමිකයින්ගේ මනා දායකත්වයෙන් යුක්තව නිම කෙරිණි.

GPO2 GPO1

වසර 1890 – 1895 දක්වා ලංකාණ්ඩුකාරධූරය හෙබ වූ සර්.ආතර් එලිබැන්ස් හැව්ලොක් ආණ්ඩුකාරවරයාගේ මූලිකත්වයෙන් වසර 1891 දී ආරම්භ වූ මෙම ව්‍යපෘතිය වසර 1895 අවසන් කර විවෘත කරවන ලද්දේ ද හැව්ලොක් ආණ්ඩුකාරවරයාම ය.
ප්‍රධාන තැපැල් හා ටෙලිග්‍රාෆ් කාර්යාලයක් ඉදි කිරීම සඳහා රුපියල් 270000.00ක මුදලක් රජය විසින් වෙන් කරන ලදී. මේ කටයුත්ත භාර දීම සඳහා ටෙන්ඩර් ඉදිරිපත් කරන ලදුව ඉන් අවම ඇස්තමේන්තුව සහිත ටෙන්ඩරය ද අපේක්ෂිත මුදලට වඩා රුපියල්: 100000.00 වැඩි වීම හේතුවෙන් මෙම කටයුත්ත රජයේ ප්‍රසිද්ධ වැඩ දෙපාර්තමේන්තුවටම භාර විය. 1891 අගෝස්තු 29 වන දින මෙහි කටයුතු ඇරඹිණ. මූලික කටයුත්ත වූයේ වැඩ බිම පිළිසකර කර ගැනීමයි. එහි පිහිටා තිබූ ගොඩනැගිලි කඩා ඉවත් කළ අතර එය ඉතාමත් පරික්ෂාවෙන් සහ ආරක්ෂාකාරීව සිදු කිරීමට අවශ්‍ය වූයේ ප්‍රධාන හා ජනාකීර්ණ මාර්ග 03 කට මෙම භූමිය මායිම් වී තිබීම නිසාය.

GPO3 GPO4 GPO5

“විදුලි කම්බි කන්තොරුවක් – කොළඹ අලුත් තැපැල් කන්තොරුවක් ගොඩනැගීම සඳහා කම්බි කන්තොරුව කඩා දමන්නට වී තිබෙන බැවින් විදුලි සම්බන්ධ වැඩ කිරීමට වෝකර් සහ පුත්‍ර සමාගමේ ඉදිරිපිට තිබෙන පිටියේ මඩුවක් ගොඩනගන්නට යන බව ඉංග්‍රීසි පත්‍රවල කියා තිබේ. මෙහි දී විදුලි පණිවිඩ යැව්වේ වැඩ, මනි ඕඩර් සහ තැපෑලෙන් බඩු යැවීම. (පාර්සල් පෝස්ට්) සම්බන්ධ වැඩ ද කරනු ලැබේ”.
මූලාශ්‍රය: සරසවි සඳරැස : 1891 ඔක්තෝබර් 9

GPO6 GPO7 GPO8 GPO9 GPO10

ප්‍රථම වසර අවසානයේ දී රුපියල් 74778.61 ක මුදලක් වැඩි වී තිබිණි. 1893 වසරේ ප්‍රගතිය පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරනා නිර්මාණ ශිල්පීහූ මෙසේ පවසති.

“නව ගොඩනැගිල්ලේ කටයුතු අත්තිවාරමේ සිට වහලය දක්වා ම තනා නිම කර තිබේ. වහලයේ කටයුතු සහ යකඩ වැඩ නිම කිරීම තෙක් තාවකාලික ව වැඩ නවතා ඇති අතර සෙසු කටයුතු ක්‍රියාත්මක වේ. වොකර් සහ සමාගම විසින් මේ සඳහා අවශ්‍ය විශාල යකඩ කුළුණු වාත්තු කිරීමේ කටයුතු සිදු කරන අතර වඩාත් සුපරික්ෂාකාරීව වඩා වේගවත් ව සිදු කිරීම සඳහා විශේෂ හැකියාවක් අවශ්‍ය වේ. අවශ්‍ය කාලය වන විට මෙම කටයුත්ත සම්පූරණ කර ගැනීමට හැකි බව විශ්වාස යි. යකඩ කාප්ප තැනීමේ කටයුතු සිදු කරනු ලබන්නේ රජයේ කම්හලේදී ය. එහි නිමවුම ද ඉතා අගනේ ය. යකඩ රාමු සහ සවි කිරීම ද නිම වන්නේ මෙහිදිම ය. නොවැම්බර් මස අවසානයේ දී හෝ දෙසැම්බර් මස මුල දී යකඩ රාමු සහ සවි කිරිම් ගොඩනැගිල්ලේ මහල්වල සවි කිරීමට නියමිත ය.

දැව නිමවුම් ද ඉතාමත් කඩිනමින් රජයේ කර්මාන්ත ශාලාවේ නිම වෙමින් පවති. මහල් වෙන් කිරීම, ජනෙල්, දොරවල් සහ උළුවහු කලින් ම තනා නිම කර ගබඩා කර තිබේ.
“මෙම වැඩසටහන සඳහා විශාල ප්‍රමාණයේ කළු ගල් කුට්ටි අවශ්‍ය වූ අතර ඒවා පානදුර ප්‍රදේශයේ ගල් වැඩපළකින් ලබා ගෙන කොළඹට ප්‍රවාහනය කරන ලදී. විශාල ප්‍රමාණයක් කපා ඔප දැමූ කළු ගල් ද අවශ්‍ය වූ බැවින් ඒවා රුවන්වැල්ල හා රත්නපුර ප්‍රදේශවලින් සකස් කොට බෝට්ටු මඟින් කොළඹ ඇල දක්වා ගෙන එනු ලැබීය. මෙම ක්‍රමය මඟින් ගොඩ බිමින් ගෙන එනවාට වඩා අඩු වියදමකින් කළු ගල් ලබා ගැනීමට හැකි විය”.
මූලාශ්‍රය : රජයේ ප්‍රසිද්ද වැඩ දෙපාර්තමේන්තුව

GPO11 GPO12

මෙම මනස් කාන්ත ගොඩනැගිල්ල සතුව මහල් දෙකක් වූ අතර පහල මාලයේ සිට ඉහළ මාලය තෙක් විහිදෙන හිස් අවකාශයෙන් ගොඩනැගිල්ල වඩාත් සිසිල් බවට පත්ව තිබුණි. වර්ණවත් පිඟන් ගඩොලින් අලංකාර කොට ඉතා සියුම් කැටයම් හා හැඩතල සහිතව නිමවන ලද මේ ගොඩනැගිල්ල බ්‍රිතාන්‍ය ගෘහ නිර්මාණ ශිල්පයේ ආභාෂය ලොවට පෙන්වා දෙන සජීව උදාහරණයකි. ප්‍රධාන තැපැල් කාර්යාල සංකීරණයේ ඇතුළතින් හා පිටතින් විද්‍යාමාන වන එහි පෞඩත්වය ලාංකීය තැපෑලේ සාඩම්බරය කදිමට ඉස්මතු කරන ලදී. මෙම ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු සම්පූරණ කර 1895 අගෝස්තු 19 වන දින විවෘත කරන ලදී.

“1895 වර්ෂයේ අගෝස්තු මාසේ දී දැනට රාජ මන්දිරයට අභිමුඛව පිහිටි අභිනව මහ තැපැල් කන්තෝරුව ගොඩනැගිල්ලේ වැඩ නිම වී එහි කටයුතු පටන් ගන්නා ලදී.”
මූලාශ්‍රය : මහාවංශය – සිංහල

මෙම කලාත්මක නිමවුම සඳහා වැඩි වූ මුදල රුපියල් : 327916.25 වූ අතර එය ඇස්තමේන්තු ගත පිරිවැයට වඩා අධික වුවද වර්ග අඩියක් සඳහා වැඩි වූ මුදල සැසදීමේ දී එය එතරම් ඉහළ අගයක් නොවූ බව ඉහත වාර්තාව පෙන්වා දි තිබේ. ඒ අනූව එවකට කොළඹ නගරයේ ඉදි කරන ලද ප්‍රධාන ගොඩනැගිලිවලට සාපේක්ෂව මෙම ඉදි කිරීම ඉතාමත් වාසි සහගත බව රජයේ වැඩ දෙපාර්තමේන්තුවේ ප්‍රධානින් පිළිගනු ලැබීය.
මෙම ව්‍යාපෘතිය නිම කිරීම සඳහා වසර පුරාම 315 ක් වූ ශ්‍රී ලාංකීය ශ්‍රමිකයන් වෙහෙසුණු අතර ඉන් 180 දෙනෙක් පුහුණුව ලත් ශ්‍රමිකයන් විය. සමකාලීනව ක්‍රියාත්මක වූ රජයේ සහ පෞද්ගලික ඉදි කිරීම් නිසා ගඩොල් බැඳීම සඳහා පුහුණු මේසන්වරු සොයා ගැනීමට අපහසු වූ බව ද සඳහන් වේ.ඉතිහාසගත තොරතුරුවලට අනූව බ්‍රිතාන්‍ය පාලන සමයේ වැඩිම කලක් තැපැල් මූලස්ථානය වශයෙන් ක්‍රියාත්මක වී ඇත්තේ කොළඹ ප්‍රධාන තැපැල් කාර්යාල ගොඩනැගිල්ලයි. ඒ වන විට පෝස්ට් මාස්ටර් ධූරය දරණ ලද්දේ ටී.ඊ.බී.ස්කිනර් මහතාය. (1871-1896) ආරක්ෂක හේතූන් මත ‍මෙම ගොඩනැගිල්ල ආශ්‍රිත ප්‍රකාශය ආරක්ෂිත කලාපයක් කර වූ බැවින් ප්‍රධාන තැපැල් කාර්යාලය හා එහි කටයුතු වෙනත් ස්ථානයකට රැගෙන යනු ලැබීය.
කොළඹ ප්‍රධාන තැපැල් කාර්යාලය ඉදිකොට ශත වර්ෂයක් සම්පූරණ වීම නිමිති කොට ගෙන මුද්දර කාර්යාංශය මඟින් නව සමරු මුද්දර නිකුත් කරන ලදී.
1995 අගෝස්තු මස 22 වන දින වටිනාකම රුපියල්1.00 ප්‍රධාන තැපැල් කාර්යාලයේ සිතුවමක් සහිත නව මුද්දරය, ප්‍රධාන තැපැල් කාර්යාලයේ සේවය සැමරීම සඳහා කදිම තුටු පඞුරක් විය.

සටහන : නිරෝෂණ පීරිස්
කියවන මුද්දර

තැපෑලේ මහ ගෙදර සහ Cinnamon Colomboscope 2016
මේ අනගි ගොඩනැගිල්ල නැරඹීමේ ඉතා දුර්ලභ අවස්ථාවක් මේ දිනවල හිමිව තිබේ. ඒ ඩිජිටල් තාක්ෂණයත් නූතන කලාවත් නිරිමාණශීලිව මුසු වූ Cinnamon Colomboscope 2016 ප්‍රදර්ශනය එම ගොඩනැගිල්ලේ පැවැත්වීම හේතුවෙනි. අගෝස්තු 25 සිට සැප්තැම්බර් 01 දක්වා සතියේ දිනවල පෙරවරු 10.00 සිට පස්වරු 10.00 දක්වා පැවැත්වෙන එම ප්‍රදර්ශනය නැරඹීමට යාම මගිනි මෙම ගොඩනැගිල්ල නැරඹීමේ අගනා අවස්ථාව හිමිකරගන්න පුළුවන්.

20160828_165356 20160828_164614 20160828_164053 20160828_163709

kdktec kdktec

No comments yet.

Leave a Reply