දුම්බර ට වෙලාව කියන සුන්දර මානිගල

manigala (11)

මාතලේ කියන්නේ පරිසර සෞන්දර්යය අතින් ඉහළ තැනක් කියලා අමුතුවෙන් කියන්න දෙයක් නෑ. මාතලේ නිවාඩුවට යන හැමෝම රිවර්ස්ටන් යනවා.රිවර්ස්ටන් ගිහින් පරිසරය විඳලා ආවට ගොඩාක් දෙනෙකුට මඟහැරෙන තැනක් ගැන තමයි මේ කියන්නේ.
නිවාඩුවට රිවර්ස්ටන් යන් කවරුත් දැකලා තියෙනවා මේ විශාල පර්වතය මේකට කියන්නේ මානිගල කියලා. මේ මානිගලට යනවා නම් මහලකොටුව, රත්තින්ද සහ ඇටන්වල කියන ගම් කිහිපයක් පසුකරන් පයින් යන්න වෙනවා.මහලොටුව ගම පහුකරගෙන යනකොට හම්බවෙනවා තෙල්ගමු ඔය. මේ ඔය පටන් ගන්න කන්දට කියන්නේ සුදුගල කන්ද කියලලු. එහෙම කියන්නෙ ඇයිද කියලනම් දන්නෙ නෑ.

manigala (8) manigala (4)ඇටන්වල කියන ගම තමයි මානිගල කන්දට පෙර අපිට දකින්නට ලැබෙන මිනිස් වාසස්ථානවල අවසානය. ඊට පස්සේ තියෙන්නෙ තනිකර කැළෑව. මේ කැළෑව ඇතුලෙත් තව එක ගමක් තිබිල තියෙනවා. ඒ ගමට කියන්නේ වල්පොළමුල්ල කියලලු. වියළි කාලයේදී ආහාර සොයාගෙන වස්ගමුව වනාන්තරයෙන් එන වන අලින්ගේ ගැටුම් නිසා, වල්පොලමුල්ල කියන ගම වර්ථමානයේ නමකට පමණක් සීමාවෙලා.

ඇත්තටම මේක කන්දක් කියල කිව්වට කන්දක්මත් නෙමෙයි; කඳු යායක් .එක කන්දක් මුදුනට නැග්ගම තව එකක් තියෙනව. ඒවගේ එකක් තමයි ඇත් ඔළු කන්ද කියන්නෙ.

 manigala (7) manigala (12)

මේ පර්වතයට ‘මානිගල’ යන නම ලැබුණ හැටිත් හරි අපුරු කථාවක් .ඉස්සර රිවෙස්ටන් වතු යායේ අතීතයේ රස්සාව කළ දමිළ කම්කරුවන් වෙලාව දැනගෙන තියෙන්නේ මේ අද මානිගල කියන ගලෙන්. මේ පර්වතයේ පිහිටි හතරැස් කොටුවක් වැනි ස්වාභාවිත විවරයට හරියට සවස 4.30 ට ඍජුව හිරු එළිය වැටෙනවා. ඒකේ ඡායාව බලලා අර කම්කරුවෝ වෙලාව බලගන්නවා. දෙමළෙන් වෙලාව හඳුන්වන්නේ “මනි“ කියලා. වෙලාව හෙවත් “මනිය” කියූ ගල මනිගල වෙලා පස්සේ කාලෙක ඒක සිංහල කටට හුරු වූයේ “මානිගල” කියලා.

manigala (10)

මානිගල කඳු මතට ආවම දකින්න පුළුවන් විශාල තණතලාවක්. ඒක අක්කර 10ක් පමණ විශාල යි. පර්වතය මත අඟල් කිහිපයක් ගනකම ඇති පස් තට්ටුව විශාල ගස් වැඩීමට හිතකර නෑ. කරඹ, හීන්බෝවිටියා වැනි ශාක තැන තැන පැතිරිලා තියෙනවා.

manigala (3) manigala (1)

මානිගලට ඉහළින් දිස්‌වන කඳුවලල්ල පතනේගල, බටඅඬුව කපොල්ල (රිවස්‌ටන්) කිරිමැටියා කන්ද යකුන්නේගල ඔස්‌සේ ගොම්බානීය හරහා නකල්ස්‌ සිට උඩදුම්බර දක්‌වා දිවෙන ප්‍රධාන කඳුවැටියෙන් සමන්විතයි. උතුරින් තැනිතලාවක්‌ බවට පත්වන දඹුලු, සීගිරි ප්‍රදේශයද වයඹ දෙසින් කරගහතැන්න ප්‍රදේශය පේනවා. දකුණූ පැත්තෙන් පෙන්නේ ගොම්බානීය, නකල්ස්‌, කිරිගල්පොත්ත වගේ කඳු. නැගෙනහිර පැත්තෙන් වන්නිමාන, ලකේගල, ලබුලැස්‌සපතන ආදී කඳු අතර අලංකාර තුන්හිස්‌ගල පේනවා. කෙළින්ම පහළ බලද්දී නෙත ගැටෙන්නේ ඇටන්වල හා රත්නින්ද ප්‍රදේශවල වෙල්යායයි.

ඇත්තටම මානිගල කියන්නේ අති සුන්දර තැනක්.වටපිට ලස්සන බලන්න විතරක් නෙවෙයි පරිසරයේ සුන්දරත්වය විඳින්නත් මෙතන මරු. ඒ නිසා ආයේ නිවාඩුවට රිවර්ස්ටන් පැත්තේ යනවා නම් මානිගල බලන්න යන්න අමතක කරන්න එපා.

@awidimuteam

ඡායාරූප – අනුජ අරෝෂ /ඉන්දුල ජේ

මාතලේ , මානිගල, රිවර්ස්ටන් , Mathale, Manigala

kdktec kdktec

2 Responses to “දුම්බර ට වෙලාව කියන සුන්දර මානිගල”

  1. March 22, 2016 at 9:27 pm #

    ඉතාම සිත්ගන්නාසුළු ඡායාරූප පෙළක් සහ කදිම විස්තරයක්. බොහොම ස්තුතියි ඔබට.

Trackbacks/Pingbacks

  1. තෙල්ගමු ඔය අද්දර සුන්දර නිවාඩුවකට තැනක් | AWIDIMU.COM - April 22, 2016

    […] කිව්වොත් තෙල්ගමු ඔයට යාබදව. ඒ වගේම මාතලේ සුප්‍රකට මානිගල, මිනි සේර ඇල්ල වගේ සුන්දර තැන් […]

Leave a Reply